පෘථිවියේ නිශ්චිත ප්‍රමාණය, හැඩය සහ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්රය පිළිබඳ විස්තර කිරීම භූමිතිකය වේ. පෘථිවියේ සැබෑ භෞතික පෘෂ්ඨය ඉතා අක්‍රමවත් ය. වඩාත් ඒකාකාර මතුපිටක් යනු මධ්‍යන්‍ය මුහුදු මට්ටම (MSL) සමඟ සමපාත වන සම විභව මතුපිට වන භූගෝලයයි. මෙය ගුරුත්වාකර්ෂණ විචල්‍යයන් හේතුවෙන් පරිමිත ගණිතමය සූත්‍රයකින් නිරූපනය කළ නොහැකි අක්‍රමවත් හැඩයකි. නිශ්චිත මානයන් සහ පෘථිවියේ හැඩය සමඟ කටයුතු කිරීමේදී, ගණිතමය ගණනය කිරීම් සිදු කළ හැකි සමුද්දේශ පෘෂ්ඨයක් අනුගමනය කිරීම අවශ්‍ය වේ. මෙම සමුද්දේශ පෘෂ්ඨයේ සිට නැග්ම සහ බැස්ම මගින් පෙන්නුම් කරන වෙනස Geoid undulations ලෙස හැඳින්වේ. භූගෝලයට වඩාත් ගැලපෙන ගණිතමය පෘෂ්ඨය ඉලිප්සාභය (ellipsoid) වේ. ශ්‍රී ලංකාව සඳහා මෙම ඉලිප්සාභයේ (ellipsoid) මානයන් වන අර්ධ මහා අක්ෂය සහ අර්ධ සුළු අක්ෂය පිළිවෙලින් මීටර් 6377276.345 සහ මීටර් 6356075.413 වේ. මෙය ඉන්දියාව සමග සිදුකරන ලද මැනුමේ දී භාවිතා කරන ලද එවරස්ට් 1830 ඉලිප්සාභය (ellipsoid) වේ.
වර්තමාන පාලන ජාලය
තිරස් පාලන ජාලය
තිරස් පාලන ජාලය යනු භූමියේ එක් ස්ථානයක සිට අනෙක් ස්ථානය හොඳින් පෙනෙන පරිදි නිශ්චිත පරතරයක් සහිතව එකිනෙකට සම්බන්ධ ස්ථාන සහිත සලකුණු සහිත ජාලයකි. මුළු ශ්‍රී ලංකාව ආවරණය වන පරිදි පැරණි ත්‍රිකෝණමිතික ජාලය ස්ථාපිත කරන ලද්දේ ත්‍රිකෝණීකරණය (triangulation) සහ ත්රයංශන (trilateration) යන මැනුම් ක්‍රම උපයෝගී කරගනිමිනි. කඳවල ඛණ්ඩාංක පද්ධතිය ලෙසින් නම් කර ඇති මීටර් 200,000, මීටර් 200,000 ඛණ්ඩාංක පද්ධතිය සඳහා තීර්යක් මර්කේටර් ප්‍රක්ෂේපණයේ ව්‍යාජ උතුරු සහ ව්‍යාජ නැගෙනහිර ලෙස ගෙන ඇත. පසු කාලීනව, මිහිතැන් ගැන්නුම් සුසැටි පද්ධති (GNSS) නිරීක්ෂණ භාවිතා කරමින් පාලන ජාලය වැඩිදියුණු කිරීමට තීරණය කරන ලදී. GNSS මැනුම් තාක්ෂණය මගින් ජාතික භූමිතික සමුද්දේශ රාමු සේවාවේ නව යුගයක් විවෘත කර ඇති අතර, එමඟින් සෑම භූමි මැනුමක්ම භෞතිකව පවත්නා තිරස් පාලන ලක්ෂ්‍යවල අපේක්ෂාවෙන් තොරව සිදු කළ හැකිය. සියලුම GNSS නිරීක්ෂණ WGS84 ඛණ්ඩාංක පද්ධතියේ ඇති අතර එම ඛණ්ඩාංක SLD99 හි සියලුම මැනුම් සහ සිතියම්කරණ කටයුතු සහ අදාළ ක්‍රියාත්මක කිරීම් සඳහා පරිවර්තනය කිරීම අවශ්‍ය වේ. මන්ද සියලුම මැනුම් කාර්යයන් ඉහත ඛණ්ඩාංක පද්ධතිය, එනම් SLD99 මත පදනම්ව සිදු කරනු ලබන බැවිනි . එපමනක් නොව, RTK (Real-Time Kinematic) GNSS මැනුම් මඟින් ලක්ෂ්යයකට තත්පර කිහිපයක් ඇතුළත තිරස් ලක්ෂ්‍ය ඛණ්ඩාංක නිශ්චය කළ හැකි අතර, SLCORSnet (ශ්‍රී ලංකා අඛණ්ඩව ක්‍රියාත්මක වන මෙහෙයුම් පාලන ජාලය) සේවාව මගින් සාම්ප්‍රදායික පාලන ස්ථාන යොදාගෙන කරනු ලබන මැනුම් අවම කළ හැකිය.
සිරස් පාලන ජාලය
සිරස් පාලන ජාලය යනු මධ්‍යන්‍ය මුහුදු මට්ටම සම්බන්ධ කරන ස්ථානීය උස සහිත ජාලයකි. වාර්තා වූ මුල්ම මට්ටම වූයේ සැතපුම් 1000 තනි මට්ටම් කිරීම වේ. මෙය 1865 දී ආරම්භ කර වසර 44 කින් නිම කර ඇත. අවශ්‍ය පරිදි මට්ටම් කිරීම පමණක් සිදු කළ බැවින් ජාලයක් නොමැතිව පැරණි මට්ටමේ රේඛා සෑදී ඇත. 1904 සහ 1909 අතර කාලයෙහි මට්ටම් කිරීමේ ප්‍රමිතිය වැඩිදියුණු කරන ලද අතර ස්ථිර මිණුම් සලකුණු ඉදිකිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලදී. 1909 දී තවත් කාර්ය මණ්ඩලයක් යොදවා මට්ටම් කිරීමේ මෙහෙයුම් ක්‍රමානුකූලව සිදු කරන ලදී. නව ජාලය 1884 සහ 1895 දී ඉන්දියාවේ මහා ත්‍රිකෝණමිතික මැනුම් වැඩසටහන මගින් කොළඹ, ගාල්ල සහ ත්‍රිකුණාමලයේ සිදු කරන ලද මධ්‍යන්‍ය මුහුදු මට්ටම් නිර්ණයන්ට සම්බන්ධ කර නිම කර ඇත.
1925 දී සම්පූර්ණ මට්ටම් කිරීමේ ක්‍රියා පටිපාටිය සමාලෝචනය කරන ලද අතර නවීන උපකරණ සහ නිරවද්‍යතා ක්‍රම සමඟ නැවත මැනුම් ආරම්භ කිරීමට තීරණය කරන ලදී. මට්ටම් කිරීම නිරවද්‍ය මට්ටම් මෙන්ම ඉන්වාර් මට්ටම් වලින් සිදු කරන ලදී. ඉහළම නිරවද්‍යතාවයේ ප්‍රතිඵල සාක්ෂාත් කර ගැනීම සඳහා මට්ටම් කිරීමේ ක්‍රියා පටිපාටිවලදී විශාල සැලකිල්ලක් දක්වන ලදී. භූමිතික මට්ටම් ජාලය මූලික පිල් ලකුණු 59 කින්, සහ සම්මත පිල් ලකුණු 22 සහ 4000 km ද්විත්ව මට්ටම් වලින් ආවරණය වන අතර එය ජාල 27 කින් සමන්විත වේ. ප්‍රාථමික මට්ටම් ජාලය මුළු රටම ආවරණය වන අතර ලෝකයේ අනෙකුත් රටවල ඉහළ නිරවද්‍යතාවයකින් යුත් මට්ටම් කිරීම් සමඟ නිවැරදි ලෙස සංසන්දනය කරන ලදී. එතැන් සිට, ශ්‍රී ලංකාවේ සියලුම සංවර්ධන ව්‍යාපෘති සඳහා උස පාලනය සැපයීම සඳහා ද්විතියික, තෘතීයික සහ සුළු මට්ටම් මගින් මට්ටම් කිරීම දීර්ඝ කර ඇත. මෙම ක්‍රියාවලියේදී 1924 දී FBM 6 ක් ද, 1925 දී මූලික පිල් ලකුණු 31 ක් ද, 1926 දී මූලික පිල් ලකුණු 22 ක් ද, ලෙස ගෙන ප්‍රධාන ජාලය 1928 වන විට නිම කරන ලදී.